නිසාන් විදුළි වාහන සහ ලංකාවේ විදුළි බලය
ලංකාවේ නිසාන් ලීෆ් වාහන සෑහෙන ප්‍රමාණයක් ඇත. මෙය 2017 වසරේ 10,000 ක් පමණ වේ යයි අසා ඇත්තෙමි. එමෙන්ම, කාර් සේල්ස් වලද තව බොහෝ නිසාන් ලීෆ් වාහන විකිණීමට ඇත. මේ කාලයේ පනවා ඇති, කිසිම තේරුමක් නැති විකාර බද්දක් නිසා නොවුනා නම්, ඒ වාහන උණු කැවුම් මෙන් විකිනෙන්නට තිබිණ.
අපේ රටේ මේ නීති නිසා, ලෝකය උණුසුම් වීම සහ හරිත වායු ප්‍රශ්න වලට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබේ. මේ අතර දියුණු ලෝකයේ මිනිසුන් සහ, උගත් දේශපාලනඥයන් වෙනත් අයුරකින් සිතති. උදාහරණයක් ලෙස, ලන්ඩනයේ නගරාධිපති බොරිස් ජොන්සන් මහතා, විදුළි වාහන අගය කලේ, එක්සත් ජාතීන්ගේ සංගමයේ, (UN) කාළගුණය සම්බන්ද රැස්වීමේදී ලීෆ් වාහනයක් සමඟ සෙල්පියක් ගනිමිණි.
අපේ ගොන් තඩි, විදුළි වාහන වල බදු වැඩි කල අතර, ජොන්සන් මහතා තවදුරටත් මෙසේ කියයි... “zero emission cars like this will play a real part in improving the air quality in our cities as well as tackling climate change “ අද මෙන්ම එදාද අපේ රටේ සිටියේ, ගොන් තඩියන් ය. නැති නම්, ලංකාව එදාවුවද අප සුද්දන්ට යටත් වෙන්නට හේතුවක් නැත.
මාතෘකාවේ කතාව නැවත පටන් ගත්තොත්, මේ වාහනයේ බැටරියේ ධාරිතාවය 24kWh වේ.එනම් මේ ප්‍රමාණය ඔබ 3000න් ගුණ කල විට, මෙගා වොට් 72ක් ලැබේ. එනම් මේ ප්‍රමාණය වික්ටෝරියා ජලාශයේ නිපදවන බලයෙන් තුනෙන් එකක් පමණ වේ. [මෙහිදී, පැරණි නිසාන් ලීෆ් වාහනය සැළකුවේ ඒවා ලංකාවේ වැඩියෙන් ඇති හෙයිණි.]
මේ වාහන පාවිච්චි කරන බොහෝ අය නොදන්නා කරුණක් ඇත. එනම්, මේ විදුළිය කපන දිනවල ඔවුන්ට මේ වාහනයේ බැටරියේ බලය (Via utility out socket) ගැනීමට හැකි බවයි. ඒ බලය දුම් රහිතය. කාබන් විමෝචනයක් නැත. ඇමරිකාවේ ‘කැත්රීනා’ ලෙස නම් කල ව්‍යසනයේදී , පළාතකම විදුළි බලය නැති වූ විට, නිසාන් ලීෆ් වාහන වලින් බලය ගන්නා ලදී.
මේ වාහනය හුදෙක් බැටරියක් සහ බැටරි චාර්ජරයක් කියා හිතන්න. වෙනස ඇත්තේ එහි රෝද හතරක් තිබීමය. එය ඔබට තැනින් තැන අරගෙන යන්නටද පුළුවන. වාහන ඇති අයට සූර්ය බල ශක්තිය තිබේ නම්, ඔබ ලොවට ණය නැත. එසේ නැති වුවද, මේ වාහනයේ බැටරිය ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කල හැක. අනෙක් විදුළි වාහන, මෙන්ම විදුළි මෝටර් සයිකලද මෙසේ භාවිතා කළ හැක.
ග්‍රිඩ් එකට සම්බන්ද වූ (Grid connected) සූර්ය පද්ධති සඳහා වූ ඉන්වර්ටර් එකක් , නගරයේ විදුළිය ක්‍රියා විරහිත වූ විට නවතී. එවිට ඒ ආකාරයේ සූර්ය බලය ඇති අයටද අඳුරේ ඉන්නට සිදු වේ. එහෙත් නිසාන් ලීෆ් වාහනයක් ඇත්නම්, එසේ අඳුරේ ඉන්නට අවශ්‍ය නැත. තවද ලීෆ් වැනි විදුළි වාහනයක් කෙනෙක් මුල් කාලයේ මිළට ගත්තේ නම්, කෙටි දුර ධාවනය සඳහාය. අද එය වෙනස් වෙමින්, එනම් බැටරියේ ධාරිතාවය ක්‍රමයෙන් වැඩි කරමින්, විදුළි වාහනයක ඇති සීමාව වැඩි වෙමින් පවතී.
පැරණි 2012 වසරේ නිෂ්පාදනය වූ නිසාන් ලීෆ් වාහන වලද බැටරිය අළුතෙන් දැමීමට පෙර , එසේම වැඩි දුරක් වාහනය ධාවනයේ නොයෙදේ නම්, එම බැටරිය සහිත වාහනය ඔබට ගෙදර ඇති විදුළි උපකරණ ක්‍රියාත්මක කරන්න භාවිතා කල හැක. බැටරියේ මුළු ප්‍රයෝජනය එයින් ලැබෙනු ඇත. සමහර රටවල් වල දවසේ එක්තරා කාල සීමාවක ගන්නා බලය වෙනුවෙන් ඉහළ මිළක් ගෙවිය යුතුය. (2012න් පසු විදුළි බිලක් ගෙව්වේ නැති නිසා, ලංකාවේත් එසේ දැයි නොදනිමි.)
එම අවස්ථා වල වලදී වාහනයේ බැටරියෙන් බලය ගැනීම ළාභය. දියුණු රටවල් වල නම්, මෙය අනාගතයේ තවත් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් සිදු වෙනු ඇතැයි කියා සිතිය හැක. විදුළි අර්බුදයක් වීමේ හේතුව කෙටියෙන් කිවහොත්; ලංකාවේ සියලුම විදුළි බලය ජනනය කරන බලාගාර, එකට සම්බන්ද කර එකම කලාවේ තබා ඇත.
(Phase) . එවිට විශාල භාරයක් එක් වර පද්ධතියට ලැබුණු විට, එය දරා ගැනීමට අපහසු නම්, පද්ධතිය නැවතීමට නිර්මාණය කර ඇත.
ඔබගේ ‘විදුළි කේතලය’ හෝ ‘විදුළි ස්ත්‍රික්කය’ නිව්වාට එය නොනවතින මුත්, විශාල නගරයකට බලය සපයන පරිනාමකයක් ෂෝර්ට් වීමක් වැනි අවස්ථාවකදී මුළු පද්ධතිය බිඳ වැටෙන්නට ඉඩ ඇත. එසේ මුළු පද්ධතිය බිඳ වැටීම සිදු නොවුයේ නම්, වෝල්ටීයතාවය ඉහළ ගොස් ඊට වඩා හානි ඔබගේ විදුළි උපකරණ වලට සිදු වනු ඇත. මේ විචලනය වන බලයේ අඩු වැඩිය නවත්වන්නට බැටරි ධාරිත්‍රක යොදා ගැනීම සිද්ධාන්තයක් පමණක්ම නොවේ. එය අද දින ප්‍රායෝගිකව කරන දෙයකි.
රටේ විදුළි වාහන බොහොමයක් තිබේ නම්, ඒ හැම වාහනයක්ම එකම වෙලාවේ පාරේ දුවන්නේ නැත. සැලකිය යුතු ප්‍රමාණයක් නගරයේ විදුළිය පද්ධතියට (City power) සම්බන්ද ව ආරෝපණය වෙමින් පවතී. යම් හෙයකින් රටේ විදුළි පද්ධතියේ කොහේ හෝ අවුලක් වුයේ නම්, විදුළිය විසන්ධි වීම නොවීමට ඒ වාහන වල ඇති බැටරිවල ශක්තිය යොදා ගත හැකි වනු ඇත.
රටට තවත් මෙගාවොට් 900 ක් අවශ්‍ය යයි අඬන අය, මේ ගැන සිතිය යුතුය. ‘පෙට්ටියෙන් පිට ක්‍රම’ [Out of the box] සේ සිතීම, රට වෙනුවෙන් කරන සේවයක් වනු ඇත. එහෙත් මේ සඳහා, ලංකාවේ ඇති විදුළි වාහන ප්‍රමාණය වැඩි වීම වැනි තව තවත් හේතුන් අවශ්‍ය වේ.
අද ඇති වාහන සංඛ්‍යාව 30,000 ක් වුවහොත් එයින් නොරොච්චෝලේ බලාගාරයේ ධාරිතාවයට සමාන බලයක් ඇති වේ. අවශ්‍ය වන්නේ යම් යම් මෘදුකාංග සහ වාහනය ග්‍රිඩ් එකට සම්බන්ද කරන ක්‍රමයේ වෙනස් වීම කිහිපයක් සිදු කිරීම පමණි.
ළිපියට පාදක වූයේ නවතම ලීෆ් වාහනය නොවේ. මේ නවතම වාහනය ලංකාවේ ජනප්‍රිය වුවහොත්, එහි බැටරියේ ධාරිතාවය වැඩි හෙයින්, ඉහත කී ප්‍රතිලාභ දෙගුණ වනු ඇත. නවතම නිසාන් ලීෆ් වාහනයේ බැටරි ධාරිතාවය කිලෝ වොට් පැය 40කි.
ඒ දිනයට ඒමට, අප අද සිටම පෞද්ගලිකව මෙන්ම රටක් වශයෙන් සිතිය යුතුය. පෞද්ගලිකව මේ ගැන සිතීම බොහෝ අය කලද, රටක් වශයෙන් මේ ගැන සිතිය යුත්තේ දේශපාලනඥයන් ය. එය තව ශත වර්ෂයකදී පමණ ලංකාවේ සිටින අපට බලාපොරොත්තු විය හැක.
ඔබ සිතන්නේ, එය ප්‍රායෝගිකව කල නොහැක කියා නම් පහත විස්තරය බලන්න.
නිසාන් කොම්පැනිය සහ එංගලන්තයේ විදුළිය කොම්පැනියක් වන ‘එනල්’ එක්ව, නිසාන් ලීෆ් වාහන සීයක් යොදා, එය එක් විදුළි බලාගාරයක් මෙන් භාවිතා කරන්නට උත්සාහ කරති. මේ සඳහා දැනට එංගලන්තයේ භාවිතා කරන නිසාන් ලීෆ් කාර් සහ e-NV200 නිසාන් වෑන් භාවිතා කරනු ඇත. මේ ක්‍රමය ක්‍රියාත්මක වූ විට පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලින් තැනෙන අතිරික්ත විදුළිය ගබඩා කර ගැනීම තව දුරටත් ප්‍රශ්නයක් නොවෙනු ඇත. පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලින් ලැබෙන ශක්තිය ගබඩා කිරීම බොහෝ රටවලට ඇති ගැටලුවකි.
එහෙත් මෙහි අවශ්‍ය වන්නේ සංකල්පය පමණි. එය පරිඝනක විද්‍යාව අනුව, ප්‍රායෝගික කිරීමේ අපහසුවක් නැත. එකට සම්බන්ද කර ඇති වාහන ආරෝපණය කිරීම මෙන්ම ඒ ආරෝපිත ශක්තිය නැවත ග්‍රිඩ් එකට දීමද ලෙහෙසි වේ. මේ අනුව විදුළි වාහනය අයිතිකරුට, ඒ වාහනයේ ශක්තිය ග්‍රිඩ් එකට දීමෙන් මුදලක් ද ලැබේ.
කෙනෙක් එවිට මෙසේ කියන්නට පුළුවන. මෙසේ බලය ගැනීමේදී බැටරිය වැඩියෙන් පාවිච්චි වීම හේතුවෙන් එහි ආයු කාලය අඩු වන බවය. එහි සත්‍යයක් ඇත. නමුත් ඒ අවස්ථාව තෝරා ගත යුත්තේ පාරිභෝගිකයා විසින්මය. උදාහරණයක් සේ ඔහුට සූර්ය බල පද්ධතියක් නොමැති නම්, මේ ක්‍රමයේදී එම බැටරිය භාවිතා කිරීමේ හිලව්වට, මණ්ඩලය මගින් විදුළි බලය එම බැටරිය ආරෝපණය සඳහා නොමිළේ සැපයිය හැක.
මේ ක්‍රමය අනාගතයේ බොහෝ ජනප්‍රිය වෙන්නට ඉඩ ඇත. එනම්, පාරිභෝගිකයාට මුදල් ලැබීමද විදුළිය කොම්පැණි වලට හදිසියේ වෙනස් වන බල ශක්තිය මේ මගින් ලැබී, ස්ථාවර විදුළි බලයක් ලබා දීමට පිටුවහලක් වනු ඇත. ලංකාවේ ද මේ ක්‍රමය භාවිතා කිරීමට කාලය පැමිණෙමින් පවතී. අඩුම තරමේ විදුළියෙන් පමණක් ක්‍රියාත්මක වන වාහන 5000 ක් වත් ලංකාවේ ඇත.
දළ උදාහරණයක් ලෙස, ඒ සියලුම වාහන ‘නිසාන් ලීෆ්’ යයි සිතුවහොත්, ඒ සියලුම වාහන වල ශක්තිය එක් වූ විට, (24 kW ) x (5000) ක් වේ. එනම් එය මෙගා වොට් 120කි. එක් වර අපේ රටේ විදුළි පද්ධතියේ වෙනස් වීමක් ඇති වුවහොත්, මේ ශක්තිය එවැනි වෙනසකට උදව් දී, එවන් අවස්තාවකදී පද්ධතිය ස්ථාවර කර තබන්නට තරම් වන ශක්තියකි. කැලිෆෝර්නියාවේ ඇති නිසාන් වාහන 30,000 ක් තවමත් කිසිම බැටරියක් අළුතෙන් නොදමා 2012 සිට එම වාහන භාවිතා කෙරේ.
කවදා හෝ එක්තරා පරිසර ප්‍රශ්නයක් මේ විදුළි වාහන සඳහා පැන නගිනු ඇත. එනම් බැටරි ප්‍රතිචක්‍රීයකරණය වේ. මේ පෙන්වා දී ඇති ක්‍රමය අනුව එම බැටරිය ප්‍රතිචක්‍රීයකරණය කරන කාල සීමාව බොහෝ වැඩි කරගත හැක. එනම් නිසාන් ලීෆ් වාහනයක බැටරියේ බලය අඩු වීම, වෙනත් අඩු ශක්ති ප්‍රභවයක් ලෙස එය භාවිතා කිරීමට ප්‍රශ්නයක් නොවේ.
නොරොච්චෝලේ වැනි ගල් අඟුරු බලාගාර ඇති, ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ඇති එවැනි බලාගාර වල අතිරික්ත ශක්තිය ගබඩා කර ගැනීමට මේ ක්‍රමය ඉවහල් වනු ඇත. හුදෙක් අවශ්‍ය වන්නේ, දැනට ඇති විදුළි වාහන ප්‍රමාණය වැඩි කිරීම මෙන්ම පරිඝනක හරහා එම කාර්යය කළමනාකරණය කර ගැන්ම පමණි.
සාමාන්‍ය සංඝණයක් කර පහත දේ සොයා ගැනීමෙන් මෙය කල හැක.
1.කොපමණ විදුළි වාහන ලංකාවේ තිබේද යන්න.
2.මේ විදුළි වාහන හිමියන්ට නිවසේ සූර්ය බල ඇටවුම් තිබේද යන්න.
3.විදුළි වාහනය ආරෝපණය වන අවස්ථාවේ, එය මධ්‍යම නිරීක්ෂණ ස්ථානයකින් නිරීක්ෂණය කිරීමට හැකි වීම.
4.විදුළි වාහනය කිසියම් නියත කාලයක් තුල බැටරියක් සේ භාවිතා කිරීමට එම වාහන හිමියාගේ කැමැත්ත ලබා ගැනීම.
සාමාන්‍යයෙන් වාහනයක් ආරෝපණය කරන්නේ මධ්‍යම රාත්‍රීයේ වේ. එනම් ඊට පෙර වැඩි විදුළි බල අවශ්‍යතාවයක් ඇති හවස හයේ සිට රාත්‍රී නමය පමණ වන කාලයේ වාහනයේ බැටරිය විදුළි බල සැපයුමට පිටුවහලක් වෙනු ඇත. එසේ ගන්නා විදුළි බලය නැවත රාත්‍රී කාලයේ වාහනවලට සැපයීමෙන් වාහන හිමියාට ලාභයක් ලැබේ.
අද දින පෞද්ගලික ඩීසල් යන්ත්‍ර හිමියන්ගෙන් [Private power producers-(PPP)] මේ වැඩිපුර අවශ්‍ය බලය ලබාගෙන , ඔවුන් විසින් සපයන බලය සඳහා විශාල මුදලක් ගෙවන්නට සිදුවී ඇත. ඒ මුදළ වඩාත් විමධ්‍යගත සේ විදුළි වාහන හිමියන්ට ගෙවීම හෝ, ඒ වාහන වලින් ගන්නා විදුළිය වෙනුවෙන් මධ්‍යම රාත්‍රියෙන් පසුව වාහන ආරෝපණය කිරීමට අවශ්‍ය විදුළි බලය නොමිළේ දීම විදුළි බල මණ්ඩලය මගින් කිරීමෙන් විදුළි වාහන ජනප්‍රිය කිරීමට හේතුවක්ද වනු ඇත.

Comments
Post a Comment