කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්
1980/90 දශකයේ නිශ්පාදිත විශේෂයෙන් මිට්සුබිෂි වාහන වල රේඩියේටරය (radiator) සහ කූලර් යුනිට් (cooler unit) එක නිශ්පාදනය කරනු ලැබුවේ තඹ වලින්. තඹ ඉතාමත් හොඳ තාප සන්නායකයක්. ඒ නිසා රේඩියේටරය ඉක්මනින් රත් වීමත්, ඒ නිසා එන්ජිම වැඩ කරන උෂ්ණත්වය (working temperature) ට ළඟා වීමත් පහසුවෙන් කර ගැනීමට හැකි වුනා.
කූලර් යුනිට් එක සැලකුවොත්, තඹ වලින් නිශ්පාදිත හෙයින් වායුසමීකරණ යන්ත්‍රය ඉක්මනින් කූල් කරන්නට සමත් වුනා. ඒ වගේම, ඒ කූල් එක සෑහෙන වෙලාවක් අල්ලාගෙන ඉන්නටද සමත් වුනා.
එනමුත්, පසු කාලයේදී රේඩියේටරය, කූලර් යුනිට් එක තඹ වෙනුවට ඇලුමිනියම් වලින් නිශ්පාදනය කරන්නට පටන් ගත්තා. ඒකට හේතුව වශයෙන් තඹ වලට වඩා ඇලුමිනියම් සැහැල්ලු වීමත්, එනයින් මෝටර් රථයේ බර අඩු කිරීමට හැකි වීමත්, මිළ අඩු වීමත් දක්වන්නට පුළුවන්.
නමුත්, නිශ්පාදකයා මේ කරුණු ගැන කිසිත් සඳහන් නොකර, ලොවට කියා සිටියේ ඇළුමිනියම් ලෝහය ඉක්මනට රත් වන හෙයින්, තාප හුවමාරුව ඉක්මනින් සිදු වන බව යි. එනමුත්, කූලර් යුනිට් එක සැලකුවහොත්, ඇළුමිනියම් නිසා ඒ/සී එක ක්ෂණිකව කූල් වන බව සත්‍යයක් වුවත්, තඹ මෙන් සිසිලස වැඩි වේලා අල්ලාගෙන නොසිටින බව මෝටර් කාර්මික විද්‍යාව පිළිඹඳව යම් අවබෝධයක් ඇති අයට වැටහෙනු ඇත. මා නම් කල්පනා කරන්නේ, ඇත්ත වශයෙන්ම එය අවාසියක් බව යි.
නිශ්පාදකයාගේ එම තර්කය නිවැරදි නම්, අළුත් වාහන වලට ප්ලාස්ටික් රේඩියේටර් හඳුන්වා දුන්නේ ඇයි? එය තාප හුවමාරුව කාර්යක්ෂම කිරීමටද, වාහනයේ බර අඩු කිරීමටද, ප්ලාස්ටික් - ලෝහ වලට සාපේක්ෂව මිළෙන් අඩු නිසාද, නො එසේ නම්, ප්ලාස්ටික් රේඩියේටර් ඉතා සුළු දෝෂයකින් පවා රේඩියේටරය තුළ පීඩනය වැඩි වී පුපුරා යාම හේතුවෙන් අළුත් රේඩියේටරයක් දැමීමට සිදු වීමෙන් නිශ්පාදකයා විසින් වාහනයක් විකුණනවාට වඩා අධික ලාභයක් අමතර කොටස් විකිණීමෙන් ලබා ගත හැකි නිසා ද යන්න බුද්ධියෙන් විමසා බැලිය යුත්ත කි.
අද නිවාඩු දවසේ මා විසින් කරනු ලැබූ අත්හදා බැලීමක් පිළිඹඳව ඔබට යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.
මේ රේඩියේටරය සම්පූර්ණයෙන්ම තඹෙන් නිශ්පාදනය කරන ලද්ද කි. එහි අපර් ටෑන්ක් (upper tank), වෝටර් ටියුබ්ස් (water tubes), කූලින් ෆින්ස් (cooling fins), ලෝවර් ටෑන්ක් (lower tank), ඉන්ලට් / අවුට්ලට් (inlet / outlet pipes) සියල්ල තඹ ය. අනික් සියල්ල එලෙසම තිබියදී අපර් ටෑන්ක් එකේ පේන්ට් එක ඉවත් කර, එහි තඹ නිමාව පෙනෙන අයුරින් සකස් කළෙ මි.
මෙහි වාසි වශයෙන් මා දකින්නේ තඹ ලෝහය කෙළින්ම වාතයට නිරාවරණය වීම නිසා තාප හුවමාරුව කාර්යක්ෂම වීම හා තඹ ලෝහයෙන් මතු වන දිලිසෙන සුළු අලංකාර නිමාව යි.
අවාසියක් වශයෙන් මා දකින්නේ යම් කාලයකදී කොපර් ලෝහය දිගින් දිගටම පරිසරයට නිරාවරණය වීම නිසා කොපර් ඔක්සයිඩ් බැඳී, මිලින වීමට හැකි හැකියාවත්, රේඩියේටරයේ අපර් ටෑන්ක් එකට පින්තාරුවෙන් සැපයුනු ආරක්ෂාව ඉවත් වීම නිසා සුළු වශයෙන් හෝ අනතුරකට ලක් වීමට ඇති අවදානම යි.
මේ සම්බන්ධයෙන් මටද ඉතාම නිවැරදිව යම් අදහසක් පල කළ හැක්කේ කාලයක් පාවිච්චි කර ලබන අත්දැකීම් ඇසුරෙන් පමණි.
කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ මිතුරන් වෙතොත් ඉහත නවීකරණය පිළිඹඳව දක්වන අදහස් අගේ කොට සලකමි.....

Comments
Post a Comment