ගැරේජ්කාරයා


ජීවිතය යනු කුමක්දැයි ලිවිය යුතුමය මොහොතකි මෙය. ..
සිදුහත්ලා මෙන් පස් මහ බැලුම් බලන්නට මා හට පින නොතිබෙන්නට ඇත....
කෙසේ වෙතත් පස් මහා බැලුම් නොබැලුව ද මා උරුම කරගත් ජීවිතයට මා දැඩි සේ ආදරය කරමි. එය පූජාසනයක තබන මල් වට්ටියක් මෙන් මා හට පුදා නොතිබිණි....
එදා මා මේ ගෙන්දගම් පොළවට පය තබන්නේ හුස්ම පවා අපෝ වී සිටි මොහොතකය. ..නිදි කිරා වැටෙන අපි මිනිස්සු, පියරු තවරාගත් ගැහැණු, කරාඹු දැමු පිරිමි හා හැන්ද ගෑරුප්පුව අතරේ මා ද ජීවිතයට තද ගැටයක් ගසා ගත යුතුය යන හීන උන්මාදය පැවැතිණි..
බාගවිට එයම, ජීවිතය මෙතරම් සුබවාදීව යාවත්කාලින වන්නට හේතුවක් වන්නට ඇත. ....
බොරළු පොළවත්, කාෂ්ටක අව්වත් හුරු මා හට ගිණියම් තාර පොළවේ කාෂ්ටක අව්ව මෙහිදී ආශිවාර්දයක් විය. .
ස්වප්නයක් තුළ කිමිදී යතාර්ථය අමු තිත්ත කුනුහරුපයක් ලෙස සැලකු මිනිසුන් අතර මා අතරමන් වූයෙමි. ..
මල් යහනක සුව නොලද මා පැදුරු කඩමල්ලක සැතපී සිහින දකින්නට වූයෙමි...
කුසට ලැබුනේ පාන් කැබැල්ලක් හෝ ටැප් වතුර පමණය...
ආමාෂගත ඇසිඩ් වලින් රාත්‍රිය මුළුල්ලේ වේදනා විඳි යුරු සිහියට නැගෙන විට ඔ ඒ යකඩ ගොඩක් යට සිටින මොහොතකය...
එළියෙන් ඇසෙන ගෙරවිල් වාග් මධ්‍යයේ වාහනයේන් වැටෙන වැලි කැට වලින් දෙනෙත් බැටකෑවා පමණක් නොව කෙවෙන දෙනෙතින් වැටෙන කඳුළු වලින් නම් නිමක් වූයේ නැත...
ඩීසල් ගඩු වලින් පිරුණු දෙයත ද පෙට්‍රල් වලට සුදු මැලිව වියලී ගොස් නිය කණු ගැලවී තුවාල වී ඇඟිලි තුඩු රිදුම් දෙද්දීත් මුවින් සිනාසී වේදනාව සඟවා ගනිමි. ...
එහෙත් චෝක් ක්ලීනර් වලට පෙඟවූනු දෙයත සිනිදු කිතියකින් ස්නායු සීතල කල ද පසුව කොච්චි ගෑවාක් වැනි දැනෙන දැවිල්ල දී නම් දෙතොල් පට සපාගෙන වේදනාව දරාගත යුතුමය. ..
තෙල් හා මජං වලට අවපැහැ වූ ගත සවස් යාමයේ සීතල දියෙන් පොඟවන විට දෙයතේ ඇති වූ කුඩා තුවාල වලින් දැනෙන දැවිල්ල නම් ඉහිලුම් නොදේ...
කොඳු නාරටියෙන් දැනෙන සියුම් වේදනාව නොවන්නට රාත්‍රිය පුරාවට සුව සේ නිදා ගන්නට තිබිණි. එහෙත් නින්දක් කියා දෙයක් අහලකටවත් ආවේ නැත..
. නිදි දෙව්දුව පවා ඇතැම් සිහින තුලදී ඔච්චම් කළාය.
සොච්චම් පඩියකට මැදිවූ ගරාජ්කාරයාගේ ජීවිතය අනුන් පෝසත් කරමින් එසේ ගෙවී යද්දී පිටස්තර ලෝකයා ද අවඥාසහගත ලෙස සිනාසුනු වාරයන් අනන්තය. අප ලෝකයාගේ අවශ්‍යයතාවය සම්පූර්ණ කළෙමු. ඔවුන් සතු නොවූ දෙයක් අප අසල තිබිණි. එහෙත් ඒ දැනුමට ලැබෙන ගෞරවයට වඩා වැඩි ගෞරවයක් ධනපති පාන්තික පුහු ආඩම්බරකාර එවුන්ගේ ගෙවල් වල බල්ලන්ට ද ලැබෙන්නට ඇතැයි මා සිතමි.
තුන ශ්‍රී වෝක්ස්වැගන් එකේ සිට ටොයෝටා හයිබ්‍රිඩ් දක්වාම යකඩ ගොඩක වේදනා සෙවූ අපට, හිමි වූයේ පාංකඩ ජීවිතයකි. එකී පාංකඩ ජීවිතය මේ ගෙන්දගම් පොළවේ පය ගසන ඕනෑම එකෙකුට මුල් කාලයේ ලැබෙන දෙයකි. විශ්ව විද්‍යාල සිසුවෙකු මුල් කාලයේ විඳින නවකවදය මෙන් පහත් වූත් අධම වූත් ජීවිත වධයක් අප මෙහිදී විඳින්නෙමු.
එහෙත් ජීවිතය යන්න මෙය ය. එය උරුම වූ සැටියෙන් විඳ ගත යුතුමය යන්න මා දනිමි. තාරුණ්‍යය කියා දෙයක් අපට නැත. ආදරය කියා දෙයක් ගැන සිතන්නට වේලාවක් නොමැත. හැඟුම් දහරා නොමසුරුව හදවත වෙලා ගත්තද අප තුළ පැහැති කෘෂ බව හා රළු බව නිසාම පියරු නොගෑවෙන සම මත ඇඳුනු කළු තෙලින් කල සායම් නිසාදෝ කෙල්ලන් පවා අප දුටු තැනදී සිනාසුණා ය..
. අප ඔවුන් හා සිනාසෙන විට ඔවුන් එය ඔරවා බලා “ඊයෑ” යැයි කියන්නාක් මෙන් ඉවත බලාගත්තා ය. අප ජීවත් වන්නේ සමාජයෙන් පිටුවහල් කල ජීවින් පරිද්දෙන් දැයි විටක මා තනිවම මාගෙන්ම ප්‍රශ්න කරමි. ....
දෙමුහුන් රථයේ සැප යහනක හිඳ බොනට්ටුව පවා ඇර ගන්නට හැකියාවක් නැති රදළයින්ගේ මන දොළ තුල පිපාසය ඇත්තේ මයිනර් කාරයක් අතගා බලන්නට ය..
එහෙත් ඔවුන් යන්නේ එන්නේ ඔවුන්ගේ දෙමුහුන් රියෙන්ම ය.
ඔවුන් මයිනර් කාරයට ආශා කරන්නේ එය අතගා බලන්නටත් හැඩට තියාගන්නටත් ය. ඔවුන් අපව පාවිච්චි කළේ ඔවුන්ගේ එකී ආශාවන් සංසිඳවාගෙන ජීවත්වන්නට පමණි. ...
එයින් පරිබාහිරව ඔවුන්ට අප යන විශේෂය ගැන කිසිදු හැඟුම් මාත්‍රයක් හෝ පිළිසිඳ ගන්නේ නැත. එය මේ ගෙන්දගම් පොලවේ එවුන්ගේ හැටිය. ..
එහෙයින් ගමෙන් කොළඹ ආ එකෙකුට කශේරුකාව පමණක් පණ තිබ්බා කියා මදිය. ..
මෙහි පය ගා සිටින්නට නම් ඊට වඩා වැඩි යමක් ඔහුට හෝ ඇයට තිබිය යුතුය. ..
මල් යහනක සැතපෙන - සැප රියේ ගමන් බිමන් යන එවුන්ගේ අවඥාව හා ගෙරවිලි විඳිය යුතුය. ...
එමෙන්ම මෙහි පැදුරු කඩමල්ලේ සැතපී ජීවිතය දිනාගත් අප වැනිම වූ එවුන්ගේ ගෙරවිල්ල විඳින්නට නම් ඊට වඩා ගට්ස් තිබිය යුතුය...
ඉඳින් නුඹත් මමත් ගෙන්දගම් පොළවේ පයගසා, පය නොපැකිලි සිටින්නේ කෙසේ දැයි යන්න තව තවත් කතා බහ කල යුතුය.
ඉතින් මා මේ සිටින්නේ ඒ සුබ මොහොත අබියස යැයි සිතමි 😊
- උපුටා ගැනීමකි-
ලිව්වේ මාධව රුබසින්හ

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්